Sunday, June 16, 2013

තවත් එක ආදර කතාවක්… 4

පහුගිය දවස් ටිකේ වැඩ ටිකක් වැඩි උන නිසා කතාව ලියන්න ටිකක් පරක්කු උනා.. ගැත්තාට සමාව දෙනු මැනවි...

කලින් පිටුව  බැලුවේ නැත්තම් මෙන්න මෙතනින් පෙරලලා බලලා එන්න... 



එදා දවසෙම රෑ නින්ද මගේ අහලකවත් තිබුනේ නෑ... නින්ද ගියේ නැති නිසා හෙමින් හෙමින් මගේ හීන මලිගාව හදන්න පටන් ගත්තා... පහුවදා උදේ බස් එකේදී එයාව මුණ ගැන හැටි ගැන , කතා කරන හැටි, එයාගෙන් කැමැත්ත අහන හැටි, එයා  ලජ්ජාවෙන් මට කැමති කියන හැටි එකින් එක  මැවිලා පෙන්න ගත්තා...


අම්මටත් බොරුවක් ඇදබාලා මම  6.30 බස් එකට සෙට් උනා.. යාළුවත් ටික වෙලාවකින් බස් හෝල්ට් එකට ආවා.. හැබැයි මට  තිබ්බ එකම ප්‍රශ්නේ උනේ මම නගින්නේ බස් එක මුලින්ම පටන් ගන්න හෝල්ට් එකෙන්.. එත් කෙල්ල නගිනවානම් නගින්නේ තුන් වෙනි හෝල්ට් එකෙන්.. පොඩ්ඩක් හරි එහෙ මෙහෙ උනොත් මහන්සි වෙන ඔක්කොම අපරාදේ බව මම දැනගෙන හිටියා.. ඒත් හිත කිව්වෙම එයා අනිවාර්යෙන් බස් එකට නගීවි කියලයි...

"මචං අපි හිටගෙන යන්න සෙට් වෙමු.. මොකද මේ බස් එකේ සෙනග වැඩියි.. කෙල්ලට කොහොමත් ඉඳ ගන්න හම්බෙන්නේ නෑ.. බැරි වෙලාවත් කෙල්ලට නගින්න බැරි උනොත් අපි එතනින් බහිමු..." යාළුවා මගේ හිත කියෙව්වා වගේ හරියටම මම හිතපු එකම කිව්වා..

"යකෝ..මමත් මේ කියන්න හැදුවේ කෙල්ල බස් එකට නැග්ගේ නැත්තම් අපි පොඩ්ඩක් එතනින් බැහැල බලමු නේද කියලා.."

" හා හා යමන් යමන්... දැන් ගිහින් නගිමු..." විනාඩි පහකින් විතර අපි ගිහින් බස් එකට නැග්ගා... බස් එක තුන් වෙනි හෝල්ට් එකට යනකම් මගේ හිත හරිම නොසන්සුන්... 

"අඩෝ කෙල්ල ඒවි නේද බන්..? " බැරිම තැන මම යාලුවගෙන් ඇහුවා..

" කියන්න බෑ  බන්... අද කෙල්ලට බඩේ අමාරුවක් හැදිලා තාම වැසිකිලියේද දන්නේ නෑ... " කින්ඩි හිනාවක් දාගෙන ඌ කිව්ව කතාවට මට ඔක්කොම අමතක වෙලා හිනා ගියා...


දෙවියෝ මොනවා හරි දෙනකොට ටොකු ඇන ඇන දෙනවා කියන්නේ නිකම් නෙමෙයි... බලාපොරොත්තු උන විදිහටම කෙල්ල බස් හෝල්ට් එකේ හිටියා...උදේ නැගිටලා ආව එක අපතේ ගියේ නෑ එහෙනම්.. එත් අපි හිටියේ බස් එක ඉස්සරහ දොර කිට්ටුවට වෙන්න... කෙල්ල නැග්ගේ පිටිපස්සේ දොරෙන්.. 

"අන්න අන්න උබේ බිබික්කම නැග්ගා පලයන් ලඟට..." යාළුවා පිටට තට්ටුවක් දාලා කියද්දී මම පස්සට යන මහා මෙහෙයුම පටන් ගත්තා... ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති බස් එකක මිනිස්සුන්ව පෙරලගෙන පස්සට යන්න දඟලන දර්ශනේ මොන තරම් චමත්කාර ජනකද කියල අත්දැකීම් ඇති උදවිය දන්නවා ඇති නොවැ.... සමහර උන් මගේ දිහා බැලුවේ ගිලින්න වගේ.. අහිංසක හිනාවක් දාගෙන කොල්ලත් ශේප් එකේ කෙල්ල ගාවටම කිට්ටු කරා... මම ලඟට යනකම්ම කෙල්ල මාව දැක්කේ නෑ... එත් එක පාරටම මාව දැක්ක ගමන් උදේ පාන්දර මහසෝනව දැකලා  බය වෙලා වගේ මගේ දිහා බලාගෙන හිටපු විදිහ මට අදටත් අමතක නෑ...


මොන තරම් හීනෙන් කතා කරත් , යාළුවො එක්ක කයිවාරු ගැහුවත් කෙල්ල ගාවට ගිය ගමන් කොල්ලව ගොළු වෙනවා... අනේ ඉතින් එදත් කොල්ලා වව්ලා වගේ ලඟට වෙලා එල්ලිලා ගියා ඇරෙන්න වෙන කිසිම දෙයක් උනේ නෑ... 


"මොකෝ උනේ..? කතා කරාද උඹ...? කෙල්ල කැමති කිව්වද...? " බස් එකෙන් බැහැපු ගමන් යාළුවා ප්‍රශ්න පත්තරයක්ම අහනවා...


"උම්ම්හ්... අදත් බැරි උනා ඕයි .. එකී ලඟට ගිය ගමන් ඊයේ රෑ ඉඳලා කට පාඩන් කරන්  හිටපු ඔක්කොම අමතක උනා බන්... "


"නොදකින්... තුක් තෝ...@%@$@$@ " අරු උදේ පාන්දර මට දෙහි කපනවා...


"අනේ පල හුයන්නෝ යන්න.... මමනේ දන්නේ ලඟට ගියාම වෙන දේ... ඒකිව දැක්ක ගමන් කක්කල් කැස්ස හැදිලා ගලපටලයත් හැදිලා අන්තිමට විලිරුදාවත් හැදෙනවා ඕයි ... තෝ මේ මගුලක් කියෝනවා..."

"කරන දෙයක් ඉක්මනට කර ගනින්.. දන්නවනේ ඕකිට තියෙන ඉල්ලුම... උබ පස්මහ බැලුම් බලනකොට පෙරහැර ගිහින් තියෙයි මචන්..."

" හ්ම්ම් දවල්ටවත් බලමු.....උබ දවල්ට එනවා නේද මගේ කුක්කු බොලේ.."

" අනිවා අනිවා එහෙනම් දවල්ට සෙට් වෙමු... මමත් කැපෙනවා.."


**************************************************


ක්ලාස් එකට ගිහින් මම ඉගෙන ගන්නවට වඩා කරේ දවල්ට ඕන වෙන පුරුෂ දහිරය ගැන හිතපු එක... කලින් දවසේ වගේ සාර්ථක පැය 1.30 කට්ටකින් පස්සේ කොල්ල ගියා බස් හෝල්ට් එකට... ටිකකින් යාලුවත් ආවා.. 

"තොපිලා දෙන්නා  වල බහිනවා නේද ඩෝ..." මගේ පිටට වැදුන පාරත් එක්ක මාව උඩ විසිවෙලා ගියා...

" අම්මට උඩු ශෙලනයා.. උබ මොකෝ මේ වෙලාවේ  ? "

"අද පොඩ්ඩක් කලින් පැන්නා බන්.. " ඌ ඇඟට පතට නොදනී උත්තර දුන්නා..

"එක නෙමෙයි මචන්... උබත්  මාර දවසේ සෙට් උනේ... අපේ කොලුවා ඔන්න අද කෙල්ලගෙන් කැමැත්ත අහනවලු.... "

අපි කතා කරන අතරේ මම ලාවට දැක්කා කෙල්ල බොරැල්ල උමග ඇතුලෙන් මතුවෙන හැටි...

"බලා ගනින් එහෙනම් මගේ හැටි..." එහෙම කියපු මම කෙල්ල එන පැත්තට ගියා... ලඟට එනවා දැකපු කෙල්ල උදේටත් වඩා බය වෙලා එක තැනම නැවතුනා... 

 "මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද...???"
 
 මට අහන්න හම්බුනේ එච්චරයි... කෙල්ල ආත බූත කඩාගෙන විදින්න ගත්තා  සුසන්තිකා  අක්කා වගේ... මට කර කියා ගන්න දෙයක් නැති නිසා එකී පස්සෙන්ම පන්නන්න ගත්තා... මෙකි කෙලින්ම බස් එකට නැග්ගා... මමත් පස්සෙන් ගිහින් බස් එකට නැග්ගා... හතිලව්වට ගහපු කලාබරේ... කෙල්ල කෙලින්ම නැවතුනේ තවත් කෙල්ලෝ දෙන්නෙක් ගාව.. බැලින්නම් කෙල්ලගේ දහම්පාසලේ යාළුවො දෙන්නෙක්... 

"භවානි... මොකෝ මේ බය වෙලා වගේ..."

"උබට මොකෝ බන් උනේ..? කියහන්කෝ අපිටත් දැන ගන්න..."

යාළුවො දෙන්න කෙල්ලගෙන් ප්‍රශ්න අහනවා මටත් ඇහෙනවා.. එත් කෙල්ල කිසිම උත්තරයක් දෙන්නේ නැතුව බය වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා... මල නෝන්ඩිය කියන්නේ බස් එකේ මිනිස්සුත් මගේ දිහා බලනවා.. අරුන් දෙන්නා ලොවෙත් නෑ.. මට වෙන කරන්න දෙයක් නැති නිසා ඉස්සරහ බලා ගත්තා... මෙන්න අරුන් දෙන්නත් බස් එකට නැග්ගා... අම්මේ උන් දෙන්නව දැක්කම මට දෙයියන්ව දැක්කා වගේ....

"කොහෙද යකෝ තෝ දිව්වේ...?" ඒ  ශෙලනයා...

"මම විස්තර පස්සේ කියන්නම් බන්..."

"පස්සේ කියන්න දෙයක් නෑ අපි දැක්ක ඕයි.." අනිත් එකා එහෙම කිව්වම බස් එක පලාගෙන ගිහින් වලක් හාරාගෙන වලට පැනලා  මටම වහගෙන වැලලෙන්න හිතුනා...මුන් දෙන්න දැක්කනම් තව මිනිස්සු කි දෙනෙක් දකින්න ඇතිද..? ශික් මටමයි වෙන්නේ...


"අර අර අයියා මගෙන් යාලු වෙන්න ඇහුවා..." මෙන්න කෙල්ල යාළුවො දෙන්නට උත්තර බඳිනවා ඇහෙනවා...

යකෝ කතා කරන්න පුලුවන්ද කියලා අහලා  ඔහොමනම්, ඇත්තම යාලු වෙන්න ඇහුවනම් මෙකි මොනවා කියයිද...? මම එහෙම හිතාගෙන ඉස්සරහාම බලාගෙන අරුන් දෙන්නා එක්ක කතාවක් දාගෙන ගෙදර ගියා...



**************මතු සම්බන්ධයි  ***************


2 comments:

  1. මට මේක කියෙව්වම මතක් උනේ සුළඟ වගේ ඇවිදින් පොත... ඒ දවස් වල ඒක කියවන ගමන් කල්පනා කළේ මේ කොල්ලන්ගේ කතා නම් කියලා වැඩක් නෑ කියලා... හි හි...

    ReplyDelete